‘‘ඇල්’’ වී වර්ගයට අයත් රන්කුමුදු ඇල් වී වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. පාරම්පරික දේශීය වී අතුරින් සහල් ඇටය කළු වර්ණයක් ගන්නා රන්කුමුදු ඇල් වියළි කලාපයේ වගා කිරීමට යෝග්‍ය වේ.
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන සිරි ලංකාවේ බුදුවරු, අරිහත්, ආර්ය, ඍෂිවරු, දෙවිවරු, රජවරු, සිටුවරු හා අනෙකුත් වැසියන් උදෙසා වෙන් වෙන් වශයෙන් කැපවූ වී වර්ගත්, කුඹුරුත් උරුම වී ඇති බව පොත පතෙහි සඳහන් වේ. ඒ් අතුරින් රජවරු හා රජ පවුල් උදෙසා ද කැප කරන ලද කුඹුරු හා වගා භූමි දක්නට ලැබේ. රන්කුමුදු ඇල් යනු රජවරු, රජ පවුල් හා සිටුවරු උදෙසා පමණක් කැප කරන ලද පරිභෝජනයට ගත් විශේෂිත වී වර්ගයක් ලෙස සඳහන් කළ හැකිය.
පාරම්පරික දේශීය වී අතුරින් දැනට ඇති මිල අධික සහල් වර්ගය ලෙස රන්කුමුදු ඇල් කළු සහල් වලට හිමිවන්නේ අනෙකුත් සහල් වලට වඩා මෙහි ඇති විශේෂිත පෝෂණීය ගුණයන් නිසාමය. මිනිස් ශරීරයේ ලෙඩ සුව කිරීමට මෙන්ම ශරීරය මනාව පවත්වා ගෙන යාමටත් තිරිහන් බව(තරුණබව) රැක ගැනීමටත් තරුණ, මහලු අය සඳහා මෙම රන්කුමුදු ඇල් කළු සහල් දිනපතා අහාරයට ගැනීම ඉතාමත් යෝග්‍ය වේ.