කුඹුරු වල ඇති පඨවී රසය බීජය අනුව වෙනස්වන බවත් ඇතැම් කුඹුරක් සරුසාර ව වැවෙත්ම තවත් කුඹුරක් නිසරුවන බවත් අපි දනිමු. පළපුරුදු ගොවියන් කුඹුරට සරිලන බීජ මෙන්ම පොහොරත් තෝරාගන්නේ එහෙයිනි. පිහිටීම හා සෘතු ගුණය කුඹුරක් නිසරු වී නම් එයට නිසි පෝර යෙදීමෙන් සාරවත් කරගත හැකිය. කුඹුරු පස අනුව පෝර තෝරා ගත යුතු වන්නේය. පෝර යෙදීමෙන් සාරවත් කළ කුඹුරේ පඨවී රසය, ගොයම් ගස ස්වකීය මුල් නැමති අතින් උරා බී මැනවින් වැඩෙමින් අධික ඵල ප්‍රදානයෙන් ගොවියාත් සතුටු කෙරෙයි. ශෂ්‍ය වර්ග පමණක් නොවැ මනුෂ්‍යාදී සත්වයෝද පඨවිරසය අනුව වෙනස් වන්නෝය. ඒ වෙනස සෑම මිනිස් ක්‍රියාවක් කෙරෙහිමත් බලපවත්වයි. මෙසේ ගස් ගල් සත්ව ආදී හැම දෙයක් කෙරෙහිම එක සේ බලපවත්වන පඨවී රසය ඒ ඒ නියමිත දේ කෙරෙහි යොමු කරවා ගැනීම වූ කලී විශාල පලපුරුද්දක් ඇතියවුන් විසින් සිදුකළ යුත්තෙකි. මේ අතින් අතීත සිංහලයා දැක් වූ ශූරත්වය ආශ්චර්යජනක වුවත් ඔහුගේ ඒ ශූරත්වය වර්තමාන සිංහලයා කරා නොආයේය. නොහොත් පාලක පක්ෂය එන්නට ඉඩ නුදුන්නේය.

අපේ කුඩා කාලය වන විට මාතර පලාතේ පෝර සාදා ගැනීම පිළිබඳ වුත් පෝර යෙදීම පිළිබඳවුත් සියලුම ශාස්ත්‍රීය ක්‍රම අභාවයට ගොස් තිබුණේය. ගොවිහු පැරැණි පුරුද්ද අනුව පැගිරි, දහයියා ආදී අලු වර්ග, කැප්පිටියා, වල් සූරියකාන්ත ආදී කොළ වර්ග, අලු, කොළ, ගොම, පිදුරු ආදීන්ගේ මිශ්‍රණ යනාදිය කුඹුරු වලට පෝර වශයෙන් යෙදූහ. කැලෑ වල කුණු වී ගිය කොළ හා ගැඩවුලු පස් යොදාගෙන ආ ජලයක් කුඹුරු වලට විශේෂයෙන් හිතවත් විය. ඉපනැලි හෝ කුඹුරේ වැනු පිදුරු පිච්චීමේ පටන් වප්පැන් බැඳීම දක්වා ඇති හැම ක්‍රියාවක්ම ශෂ්‍ය සමෘද්ධියත් රසය සහ ඔජෝ ශක්තියක් ගෙනදීමෙහි ඉවහල් වූයේය. ගොඩ පසට ගැඩවුලු පස් යම් සේද කෙතට මිශ්‍ර පෝරද එසේමය. අත්හදා බැලීම් පවත්වා කෙතට යෝග්‍ය පොහොරක් පිළියෙළ කර ගැනීමට මේ හොඳම අවස්ථාව බැව් මතක් කරනු කැමැත්තෙමු.

උපුටා ගැනීම - "පණ්ඩිත මැදඋයන්ගොඩ විමලකීර්ති හිමි"

Leave a Reply