ලංකාවේ කුඹුරු කිරීමේ ක්‍රම කීපයක් තිබුනේය. එයින් එක් ක්‍රමයක් නම් වැසි දියෙන් කුඹුරු කිරීම වේ. එහෙත් ඒ ක්‍රමය කෙරෙහි එතරම් විශ්වාසයක් නොතැබිය හැකිය. සෘතු ගුණය වෙනස් වීමෙන් වැසි ඵල අඩු වැඩි වන හෙයිනි. අතිශයින් සඵල වුත් නොවරදින සුළුවුත් ක්‍රමය නම් වැව් දියෙන් කුඹුරු කිරීම වන්නේය. රෝහණයත් අනුරාධපුර පළාතත් වැව් රාජ්‍යයන් වූයේ ඒ නිසාය. සිංහලයා ජල කර්මාන්තයෙහි ශූරයා වූයේත් ඒ සඳහා උපදෙස් දෙනු පිණිස ඉන්දියාවේ කාශ්මීරය ආදී පෙදෙස්වලට ගියෙත් ලංකාව වැව් රාජ්‍යයක් වූ හෙයින් මැයි. පුරාණ ලංකාවේ වැවක් නොමැති ගමක් නොතිබුණු තරම්ය. ඒ හැම වැවක්ම මනා පාලනයකින් පාලිතත් විය. ලංකාවේ ගොවිතැනත් ඒ මගින් සිංහලයාගේ ජාතික ශක්තියක් රඳා තිබුණ මහ බල කණුව වැව හෙයින් මෙතැන් සිට වැව් සම්බන්ධයෙන් කෙටි විස්තරයක් ලියම්හ.

  • වැව් සහ අමුණු

ලක්දිව වැව් කර්මාන්තයෙහි උසස් ආදීමයා පණ්ඩුකාභය රජු බව අපි දනිමු. එහෙත් එහි අතීත යෝධයා මහානාමත් මෑත යෝධයා මහලු පැරකුම්බාත් වූහ. 4. 5 වන සියවස්වලට ඉහතදී ලියැවුණු ලේඛනයන්හි වපි, වව් දෙ ශබ්දයද 5 වන සියවසේදී පමණ ලියැවුණු සමහර ලේඛනයන්හි වෙව ශබ්දයද ඉක්බිතිව වැව ශබ්දයද ශිලා ලේඛනයන්හි පෙනේ. වටී ශබ්දය “වෙව” වූයේ දෙමල අනුකරණයෙනැයි සිතේ. “දානවැව” නමින් අමුතු වැවක් ගැන ‘ඉසුරුමුනි සන්නසෙහි’ පෙනෙතත් ඒ වැව කුමක්දැයි තේරුම ගැනීම තරමක් දුෂ්කරය. 1. “දාන වැවකින් මොහොල්නහැරද් සොරො පෙරෙටැ සතර රියනක් දියට් හින්දු වූ “දියකැට පහණ” මුන්දුන පැනෙනතාක්.2. දාන වැවකින් දිය තබා සිහිනැටි වපුරනු මීසැ” යනු එකී ලිපියෙහි යෙදී තිබෙන පරිදියි. කුඩා වැව් වලට දිය දෙන නාච්චදූව වැනි වැවක් හෝ කුඹුරු වලට දිය දෙන කුඩා වැවක් හෝ දාන වැව යන්නෙන් ගත හැකි වූවත් දෙවනුව කී අර්ථය වඩාත් මැනවැයි හැඟේ.<

උපුටා ගැනීම - "පණ්ඩිත මැදඋයන්ගොඩ විමලකීර්ති හිමි"

Leave a Reply