ගෛගර මහතා කුඹුරු ශබ්දය ගම්භිර ශබ්දයෙන් බිඳියි. අපි කෙදාර ශබ්දයෙන් ආයේ යයි කියමු. කෙදාර> කුවුරු කුඹුරු යනු ආ ක්‍රමය වේ යයි සිතමු. කෙදාර ශබ්දය පිළිබඳ පැරැණිම රූපය කුබුර යනුයි. මධ්‍ය කාලීන රූපය කුම්බුරු යනු වේ. වර්තමාන කුඹුරු ශබ්දය මේ කුම්බුරු ශබ්දය ප්‍රභව කොට ඇත්තේය. කුඹුර එකක් වුවද නොයෙක් හේතූන් නිසා එය නොයෙක් ප්‍රදේශයන්හි නොයෙක් නම් වලින් හඳුන් වනු ලැබේ. මෙතැන් සිට දැක්වෙන්නේ එබඳු නම් සමුහයක් පිළිබඳ විවරණයකි.
- අකරහ කුඹුරු
- අගාර කුඹුරු
- අගම්පඬි කුඹුරු
- අග්‍රහාර
- අටවරල
- අද කුඹුරු
- අනුබු
- ආත්තප්පාඩුවූ ඉඩම්
- අස්වැද්දුම්
- ඉරවලු
- උතු කුඹුරු
- ඌරුබිම්
- ඔලගම්
- ඔවිලාත්
- ඕතෙර කුඹුරු
- කට්ට කඩුව
- කන්දැති කුඹුරු
- කරමාරු කුඹුරු
- කැලැළී කුඹුරු
- කිණිගම්
- කිරිමා කළ කුඹුරු
- කුසලාන්
- කොන්තවැරවැගිය කුඹුරු
- කොළවෙලි
- ගණේ කුඹුරු
- ගම්කොටුව
- ගම්පංගුව
- ගම්පැලැස්ස
- ගම්මුදල
- ගෑනු බින්න ඉඩම්
- තරව් කෙත
- තාවළු
- තෙය
- දන්වරුපෙත්
- දරාඬු
- දිවෙල්
- දුක්ගන්නා කුඹුරු
- දුහුරු බිම්
- දෙදුරු
- දෙනි
- දෙමළ කැබෙළි
- දෙහෙලාන්
- නිලපාලු
- නින්ද ඉඩම්
- පමුණු
- පැස්සේ කුඹුරු
- පිදුම්
- පිසඹුරු කුඹුරු
- පිළැස්ස
- පුරඳ කුඹුරු
- පෙරමාස් කුඹුරු
- බඩ වැඩිලි
- බත්ගම්
- බදු කුඹුරු
- බිසෝ පත්තු
- භොගගම්
- මළපාලු
- මැද්දේ කුඹුරු
- මුගයින්
- මුත්තැස් කුඹුරු
- මුත්තෙට්ටු
- මුලන්
- මුල් බිජු කුඹුරු
- රත්මාසර කුඹුරු
- වරුපෙත්
- වැහැර
- වැවගම්
- සාරමාරු ඉඩම්
- සම්භොග ගම්
- සංගත්තාර්
- අකරහ කුඹුරු – (උතුරු මැද පළාතේ ව්‍යවහාර වෙයි.) වගා නොකළ හැකි අසාර මුඩු බිම් මේ නාමයෙන් හැඳින් වෙන්නේය. අකරහ යනු අකෘෂ්‍ය ශබ්දයෙන් ආ හැකිය. කෘෂිකර්මයට අයොග්‍ය යනු අර්ථයි.
- අගාර කුඹුරු – මාතර පළාතේ නම් ජල බහුල එරෙන කුඹුරු ද තවත් සමහර පළාත්වල දෙනිකඩද මේ නමින් හැඳින් වෙයි.
- අගම්පඬි කුඹුරු – යුද්ධ සේවය සඳහාම වෙන්ව සිටි අභ්‍යන්තර හටයන්ට දුන් කුඹුර අගම්පඩි කුඹුරු නම් වෙති.
- අග්‍රහාර – බ්‍රහ්මචාරීන්ට දුන් කෙත්වලින් අග්‍රහාර නමැයි සංස්කෘත කෝෂ ග්‍රන්ථයන්හි කියන ලදී. බුදුන් කල පොක්ඛරසාත බමුණාට ලැබුණු අග්‍රහාරය හේ සෛවරීව පාලනය කළේය. මරණීය දඬුවම් පවා ඔහු විසින්ම නියම කළ බැව් පෙනේ. විභංග අටුවාහි එන දීප රාජ වස්තුව ද සැළකියැ යුත්තකි. මේ කථායෙහි මුල් අවස්ථාව සම්බන්ධයෙන් යමක් සඳහන් කළ නොහැකිය. එහෙත් යාපන ඉතිහාසයෙහි පෙනෙන කථාවක් ඒ හා කරමක් දුරට ගළපන්නට පුළුවනි. එළාර කාලයෙහි දකුණු ඉන්දියාවේ තොණ්ඩෙනාඩුවෙන් මෙහි පැමිණි ” කටිවීර රාඝව ” නම් කවියෙකුට “මානට්ඨි” නමැති පුර්වාභිධානයක් ඇති යාපනය බ්‍රහ්මදෙය වශයෙන් පරිත්‍යාග කළ බවත් යාපන රාජ්‍යයෙහි මූලාරම්භය ඔහුගෙන් ඇති වූ බවත් ඒ කථා පුවතෙහි දැක්වෙන නිසාය.වලස්මුල්ල සමීපයෙහි දැනුත් අග්‍රහැරයක් තිබේ. ” කුඩුමිරිස්ස ‘ ශිලා ලිපියෙහි අග්‍රහාර සමූහයක් ගැන සටහන් වෙතත් ඒවා විශාල ගම් නොව කෝවිල්වල සේවය කළ බමුණන්ට දුන් ලොකු කුඩා ගම් කැබෙලි බැව් සැලැකියැ යුතුය. දකුණු දඹදිවත් මෙවැනි අග්‍රහාර බොහෝය. එබැවින් බමුණු පුජකයන් හා ආචාර්යවරයන්ට සිංහල රජය විසින් ප්‍රදානය කළ ඉඩම් විශේෂය බෙහෙවින් අග්‍රහාර නමින් ප්‍රසිද්ධ වූ බැව් පෙනේ. ඒවා අතර ගොඩ මඩ ඉඩම් දෙවර්ගයම තිබුණේය. උතුම් ඉඩම් යනු අග්‍රහාර ශබ්දයෙහි අර්ථය වේ. “ආහාර “යනු ඉඩමට නමි.
- අටවරල – කුරුණෑගල පළාතේ ලිස්සා යන මඩටත් වන්නියේ ලිස්සා යන මඩ ඇති කුඹුරටත් “අටවරල ” යයි කියති. මොරවක් කෝරළේ මාවරල නම් ග්‍රාමයක් දැනුත් තිබේ. ඉටි සේ ඇලෙන තද මැටි ඇති කුඹුරු අටවරල නම්හ. යි සිංහල ශබ්ද කෝෂය කියයි. (වරල ස.ර. වලිය, අඩාර වෙල – ඤාණ ප්‍රකාශර්ගේ ශබ්ද කෝෂය 55 පිට)
- අද කුඹුරු – අඳයට වගා කරන කුඹුරු අඳ කුඹුරු නම් අද ශබ්දය “අඩ ” ශබ්දයෙන් ආ හෙයින් දෙකෙන් පංගුවට වැඩ කරන කුඹුරු අඳ කුඹුරු නමැයි සලකති. එහෙත් අඩ ශබ්දය දෙකෙන් කොටස පමණක් නොව සාමාන්‍ය කොටසද කියන හෙයින් ඒ අදහස නොමැනවි. දෙකෙන් අඳේ, තුනෙන් අඳේ හතරෙන් අඳේ යනාදිය පෙනෙන හෙයින් මුලින් කරගත් කතිකාවකට අනුව ධාන්‍යයෙන් කොටසක් ලබාගනු පිණිස ගම්කාරයෙකුගෙන් හැරගෙන වගා කරන කුඹුරත් අඳ කුඹුර නම් වේ. මාතර පළාතේ විශේෂ අඳ කුඹුරු වගයකුදු වෙයි. එනම් ආණ්ඩුවට අයත් ඉඩමකින් ගොවියකු කපා හදාගත් කුඹුරුය. කපා හදාගත් ගොවියාට වගාකිරීමේ ශක්තිය තිබෙන තුරු එය අන් කෙනෙකුට පවරාදීමේ බලයක් ආණ්ඩුවට නැත්තේය. එසේම එය ආණ්ඩුවේ විකිණීමකින් වෙත කෙනෙකුන් ගත් විට ඒ කුඹුර මුල් ගොවියාගෙන් වෙනස් කරන්නට ගැනුම්කාරයාටත් බලයක් නැත. ඉදින් මුල් ගොවියා තමාට කුඹුර වගා කිරීමට නොහැකි යයි කියා සිටියොත් කුඹුර අනෙකෙකුට පවරා දී එතැන් සිට කුඹුරේ අස්වනුවලින් දහයෙන් කොටසක් මුල් ගොවියාට දිය යුතුය.
- අනුබු – (”ශෂ්‍ය ඵල කැමැත්තාහු දෙණද් ගොඩද් අනුබුයෙහිද් බිජු වපුරෙති ” යනු අමාවතුරු පාඨයි. (4 පරි.) මේ අනුබු ශබ්දය ජල බහුල පෙදෙස මෙන්ම ගස් ගල් බහුල පෙදෙසත් කියයි. එහෙත් මෙහිලා ජල බහුල පෙදෙස අදහස් කරනු ලැබේ. (අනුප> අනුපු> අනුබු)
- ආත්තප්පාඩුවූ ඉඩම් – මුලින් තමා සතුව තිබී පසුව අනුන් සන්තකවුණු ගොඩ මඩ ඉඩම් වලට මේ නාමය ව්‍යවහාර වෙයි. “අන්‍යප්‍රාප්ත ” ශබ්දයම ගැමි වහරෙහි මෙසේ උච්චාරණය කරන්නට ඇතැයි සිතේ.
- අස්වැද්දුම් – කුඹුරක් හෝ කුඹුරු යායක් සමීපයෙහි ඇති ගොඩබිමත් කපා හදා කුඹුරක් කළ විට ගොවියෝ එය අස්වැද්දුම් නාමයෙන් හඳුන්වති. අමුතුවෙන් අස්වද්දන ලද්ද යන අර්ථය සලකාගෙනය.
- ඉරවලු – මෙයද නොයෙක් පළාත්වල දක්නා ලැබෙන කුඹුරු විශේෂයෙකි. ශ්‍රීපාද ලේකම් මිටියෙහි මේ කුඹුරු ගැන නොයෙක් විට සටහන් වන්නේය. පළලින් අඩු දිගින් වැඩි කුඹුරුවලට මේ නාමය යෙදී සිඛෙන බැව් පෙනේ. ඒවා බැලූ බැල්මට ඉරි මෙන් පෙනෙන හෙයින් ඒ නම අන්වර්ථ වෙයි. මාතර පළාතේ ඉරිකොදු නමිනුත් මීට සමාන කුඹුරු විශේෂයක් තිබේ.
- උතු කුඹුරු – උත්තේ කුඹුරු යනුත් මේවාටම නමි. පසු කාලයක මේ උතු ශබ්දය “ඔතු” බවට පෙරළුණු බැව් පෙනේ. ඔතු ඉඩම් යනු නිදසුනි.ක්‍රිස්තු වර්ෂයෙන් දෙවන තෙවන සියවස්වලදී පමණ හෙළ බසට වැදගත් “උත” හෝ “උතු” ශබ්දය නොයෙක් විපර්යාසයන්ට මුහුණ පාමින් තව දක්වාත් නොනැසී පවත්නේය. කලින් කල අර්ථ පක්ෂයෙහිත් වෙනස්කම් ඇති විය. නින්ද මුත්තෙට්ටු වලින් ඒවා අයිතිකාරයන්ට දෙනු ලබන කොටසට ඔතුව යයිද, ඔතුව මැන වෙන් කිරීමට ඔතු මැනීම යයිද, ඔතුව වෙනුවෙන් දෙන කාසි වලට ඔතු කාසියයිද, අඳයට අඳ ඔතුව යයිද, උඩරට ජනයා අදත් ව්‍යවහාර කෙරෙති. මෙයින් පෙනෙනුයේ ගම්කාරයාට දියැ යුතු කොටස ඔතු නමින් හැඳින් වූ බවය. දැන් සෙවිය යුත්තේ “උතු” ශබ්දයාගේ අර්ථ පක්ෂයයි. වෙල් යායක ඉහත්තාවේ වැවක් ළඟ තිබෙන ඒ යායේ අනෙක් කුඹුරු වලට වඩා සාරවත් කුඹුරු “උතු” කුඹුරු නමැ ‘ යි සමහරු කියති. ඒ කථාව ඇත්තක් නම් ගොඩ ඉඩම් වලටත් වැවක් අද්දර නොපිහිටි කුඹුරු වලටත් ඒ නාමය නොයෙදෙන්නේය. නමුත් ව්‍යවහාරයෙහි එසේ යෙදුන තැන් බෙහෙවි. එබැවින් ඒ මතය ආදරණීය නොවේ. පුරාණ කාලයෙහි මේ දිවයිනේ පැවැති හැම වෙල්යායක්ම සාරත්වය අනුව තෙකොටසකට බෙදා තිබුණේය. අයබදු ගැනීමාදී පාලන ක්‍රම පහසු කර ගැනීම සඳහාය. ඇතියාගෙන් වැඩියත් නැතියාගෙන් අඩුවත් බදු ගැනීම සාධාරණ වන්නාක් මෙන්ම කුඹුරුවලිනුත් සාරත්වය අනුව බදු ගැනීම සුදුසු ක්‍රමය වෙයි. මෙසේ වෙල්යායක් තෙකොටසකට බෙදුණු පසු එහි ප්‍රධාන කොටස උත්තේ තරම නමිනුත් ඒ උත්තේ තරමට අයත් කුඹුරු උත්තේ කුඹුරු නමිනුත් ප්‍රසිද්ධ විය. රූපසිඩි සන්නයෙහි “උක්කට්ටුක්කට්ටං” යනුවට උත්තෙන් උක්ත, කියාත් ජාතක ගැටපදයෙහි දුරම “ග්ගං ‘ යනුවට උතුකඩ කියාත් අර්ථ කී හෙයින් උත හෝ උතු ශබ්දය ප්‍රධානාර්ථයෙහි වැටෙන බව පෙනේ. උත යනු උච්ච ශබ්දයෙන් ආ හැකිය. (උච්ච> උව> උත> උතු) උත්තේ යනු උතු ශබ්දය සප්තවී විබත් ගත් තැනි. (උතුවේ. උත්වේ > උත්තේ) උත්තේ හෙවත් උතු තරමෙහි වූ කුඹුරු උතුකුඹුරු නම්හ.
- ඌරුබිම් – මුහුදු සමීපයෙහි තිබෙන ලවණ රසය නිසා වගා නොකළ හැකි ලුණු කර බිම් ඌරුබිම් නමි.ඌරු ශබ්දය “ඌෂර ” ශබ්දයෙන් ආවා විය හැකිය.
- ඔලගම් – මේද අපට තේරුම් ගත නොහැකි ශබ්දයකි. කල්ලර ඔලගම්, දිය නැමුනු අත ඔලගම්, වැව ඉහල ඔලගම් හෙවත් වැවට දිය නැමුනු අත ඔලගම්. යි ඔලගම් කීප වර්ගයක් තිබුණු බව පෙනේ. ලොකු කුඹුරු වලට අයත් කුඩා කුඹුරු විශේෂයක් විය හැකි යයි ආර්. එල්. බ්‍රොහියර් මහතා කියයි. ඔලගම් යනුව මහගම් යන්නට මුලින් බොහෝ විට යෙදී තිබේ. ඔලගම් මහගම් යනු විසිනි. කුඩාගම් සහ ලොකුගම් යනු එහි අර්ථය වේ. මුද්‍රිත පූජාවලියෙහි “හොළගම් මහණ ගම්” යන පාඨයෙක් පෙනේ. (රතනසාර සංස්කරණය 684) එහි මහණ යනු මහා වූ විට “නොලගම් මහගම්” යන පාඨය ලැබේ. මෙයින් පෙනෙනුයේ ඔල යනුව ඇතැම් විට “හොල ” කියාත් සිටි බවය. ඒ හොල යනුව “සුලු ” ශබ්දයෙන් ආවකැයි සිතේ. තවත් සෙවිය යුතුයි. (සුලු සොල – හොල)
- ඔවිලාත් – කැරැන් ආදී පැලෑටිවලින් ගැවසීගත් ජලාශ්‍රය ඇති කුඹුරු විශේෂයට මේ නමි. විලාන් යනු වලාන ශබ්දයෙන් ආවක්ද නැතහොත් විල ශබ්දයම විබත් ගෙන සිටි තැනක්දැයි සෙවියැ යුතුය.
- ඕතෙර කුඹුරු – මේවා බෙහෙවින් ගං හෝ අද්දර පිහිටා තිබේ. ගඟේ හෝ ඔයේ ජලය අඩු වැඩි වීම අනුව මේ කුඹුරු වලත් ජලය අඩු වැඩි වන්නේය.
- කට්ට කඩුව – කුඹුරුයායක් සාරත්වය අනුව තුනට බෙදූ විට සාරත්වයෙන් අඩුම කොටස “පැස්සේ තරම” නම්ද ඒ තරමට අයත් කුඹුරු “පැසි කුඹුරු ” නම් ද වෙත්. කට්ට කඩු යනුවෙන් ඒ පැසි කුඹුරු වලටම ව්‍යවහෘත නමෙකැයි කියත්.
- කන්දැති කුඹුරු – කඩුගන්නාව වැනි කඳු පාවුල තිබෙන ඉතා කුඩා ලියදිවලින් යුත් කුඹුරු මේ නමින් හඳුන්වනු ලැබේ. කඳු අද්දර පිහිටි කුඹුර යන අර්ථය වියැ හැකිය. පිදුරු සහ කරල් ගොඩ ගැසූ තැනටත් කන්දැත්ත යයි කොත්මලේ කියත්හු. වැව් දැත්ත යනාදිය සමගත් සමකර බලනු.
- කරමාරු කුඹුරු – මේවා මාතර පළාතේ බෙහෙවින් ඇත්තේය. අතින් අත මාරුවන කුඹුරු යන අර්ථයි. වැඩි වශයෙන් මේ ගණයට වැටෙන්නේ හවුල් කුඹුරු බැව් සැලැකිය යුතුය. එනම් කුඹුරක එක කොටසක් සශ්‍රීකත් අනෙක් කොටස නිශ්‍රීකත් වුවහොත් කුඹුරු දෙකට බෙදා එක පක්ෂයක් සශ්‍රීක කොටසත් අනෙක් පක්ෂය නිශ්‍රීක කොටසත් කලින් කල වගා කෙරෙති. තට්ටුමාරු යනුත් මේ කුඹුරු වලටම සමහර පළාත් වල වහරන නාමයෙකි. කුඹුර දෙකොටසකට හෝ තෙකොටසකට බෙදූ කල ඒ කොටස් තට්ටු නමින් හැඳිනෙයි. උඩ තට්ටුව, මැද තට්ටුව, පසු තට්ටුව හෝ පහත තට්ටුව කියාය. හවුල් කාරයන් අතර කලින් කල මේ තට්ටුමාරු වන හෙයින් තට්ටුමාරු නාමය යෙදී තිබේ.
- කැලැළී කුඹුරු – මේ වනාහි සිව්වන මිහිඳුගේ යයි සැලැකෙන දළදා මාලිගා ලිපියෙහි පෙනෙන වචනයකි. කැලෑ ලියූ හෙවත් කැලෑ ශුද්ධ කළ කුඹුරු කැලෑළි කුඹුරු හැටියට ගණන් ගත හැකිය. (ලියූ ලිය> ලී> ලි)
- කිණිගම් – මේ වචනය ශිලා ලිපි කීපයක මෙන්ම ව්‍යවහාරයෙහිත් දක්නා ලැබෙනත් සැඟවුණු අර්ථ ඇතියෙකි. කිණි ශබ්දය කෙණි ශබ්දයට බෙහෙවින් සමාන හෙයින් රජුට බදු දී හැරගෙන සඟ සතු කළ ඉඩම් එයින් කියැවෙන්නේ යයි අනුමාන කළ හැකිය. “කෙණි ‘ති රණේඤ්ඤා දාතබේබා ආයො” යි විනයටිකාදියෙහි කී හෙයින් රජුට දියයුතු බද්ද “කෙණිය” නමි. සමහරුන් රජුට බදු ගෙවා ඉඩම් ගෙන සංඝභෝගය සඳහා යෙද වූ බව නොයෙක්වර දක්නා ලැබේ. තවත් සෙවියැ යුතුය.
- කිරිමා කළ කුඹුරු – පැපිලියාන පිළිබඳ පැරැණි ලේඛනයක “පල්ලෙවෙල බඩින් කිරිමා කළ කුඹුරු එකකට උත්තේ තරමින් එක්මුණු එක් පෑල එක් ලාස්සෙක්…….” යිද, සද්ධර්මාලංකාරයෙහි” තුමූ මාගම හිඳ කුඹුරු කිරිතනවා බොහෝ ගොයම් තැනවුහ ” යිද (සිරි ඤාණිස්සර සංස්කරණය 460) පෙනෙන හෙයින් කිරිමා කළ කුඹුරු නමින් ඉඩම් විශේෂයක් පැවති බව පැහැදිලි වෙයි. සද්ධර්මාලංකාරයෙහි එන කිරි තැනවීමත් මේ කිරීමා කිරීමත් අතර තරමක සම්බන්ධයක් පෙනෙතත් දෙශබ්දයේම අර්ථය නොපැහැදිලිය. කිරිමව්ම් කිරීමට කිරීමාකම් කිරීමයයි සද්ධර්ම රතනාවලියෙහි පෙනේ. “කුඹුරු කිරි තනවා” යන්නෙන් කිරි ගණන් කුඹුරු තනවා යන අර්ථයත් ගත හැකිදැයි සොයත්වා.
- කුසලාන් – දැන් කොහොලන් (කොහොලාත්) නමින් ප්‍රසිද්ධ කුසලාන් වනාහී කුසල් පිණිස දුන් ඉඩ කඩමිය.
- කොන්තවැරවැගිය කුඹුරු – මුලදී තමා සතුව තිබී පසුව අන් සතු වූ ඉඩම් මේ නාමයෙන් අදහස් කරනු ලැබේ. ඉහත දැක්වූ ආන්නප්පට්ටු ඉඩමුත් මේවා මැයි.
- කොළවෙලි – (අමාවතුර 139 ) මුලින් කී කට්ටකඩු වලටම මේ තමත් ව්‍යවහාර කරතැයි සමහරු කියති. ගලපාත පැපිලියාන යන ලේඛනයන්හි කොළවෙලි නමිනුත් අඹගමු ලිපියෙහි කොටවෙයි නමිනුත් සබරගමු ලක්ෂ්මණ දේවාල ලිපියෙහි කොලවෙණි නමිනුත් හඳුන්වන ලද්දේ එකම ඉඩම් විශේෂයකැයි සලකන්නට ඉඩ තිබේ. කොළ ශබ්දය අර්ථ කීපයකම වැටෙතත් මෙහිලා එයින් ශෂ්‍යාර්ථය ගනු වඩාත් සුදුසු සේ පෙනේ. ගලපාත ලිපියෙහි කොළවෙලි ශබ්දය සාමාන්‍ය වගාව යන අර්ථයෙහිත් යොදා ඇත්තේය. මේ කොයි නිදසුන් වලිනුත් අපට පෙනී යන්නේ වගා කළ ගොඩ ඉඩම් කොළවෙලි නමින් හැඳින් වූ බවය. ගොඩ සහ වෙල යන අර්ථය වුවත් එයට දියැ හැකිය. කොළවෙල් වලින් අය කළ බද්දට කොළවෙල් අය කියාද කොළවෙලිවල වැඩ කළවුන්ට කොළ වෙල්ලු කියාද ව්‍යවහාර කෙරෙත්. ” කණුවක් කොළ ” සිව. විනිස 45, කොළ බිජු කෙනෙක් ” අමාවතුර 93 (සෝරත) යනාදියත් සලකනු.
- ගණේ කුඹුරු – භික්ෂූන් වහන්සේත් උන්වහන්සේගේ වාසස්ථානයත් ගණ ශබ්දයෙන් අදහස් කරනු ලැබේ. එබැවින් විහාරස්ථානයට හෝ භික්ෂූන් වහන්සේලාට හෝ පූජා කළ කුඹුරු ගණේ කුඹුරු නැමැයි සලකම්හ.
- ගම්කොටුව – ගම ශබ්දය ගමක් මෙන්ම ගමකින් කොටසක් වූ ඉඩමත් කියයි. වැටකින් හෝ අගල් ආදියකින් වෙන් කළ කුඩා ඉඩම ගම්කොටුව නමැයි සැලැකිය හැකිය.
- ගම්පංගුව – විහාර දේවාලයාදියක හෝ මාලිගයෙහි හෝ සේවය කරන පහත් සේවකයින්ට එක ගමක් බෙදා දුන් විට ඒ එක්කෙනෙකුට ලැබෙන පංගුව ගපංගුව නමි.
- ගම්පැලැස්ස (පාලු වූ තැන්) – කුඩා කුඹුරු කීපයකින් යුත් ප්‍රදේශයට මේ නමි. පිලැස්ස ශබ්දයෙහිත් මේ පෑලැස්ස ශබ්දයෙහිත් සම්බන්ධයක් පෙනේ. උඩසි. යටසි, මැලැසි යනාදිය සමගත් සමකර බලනු.
- ගම්මුදල – තුදුස්වන සියවසේ සිට ලියැවුණු ලිපි සමූහයකම මේ වචනය දක්නා ලැබේ. ලංකාතිලක විහාර ලිපියෙහි තිබෙන ” ගම්මුදල ” යන්න වෙනුවට එහිම ඇති දෙමළ ලිපියෙහි පෙනෙන්නේ “ඌනත්තම් ” කියාය. දක්ෂිණ භාරතීය ලිපි වලත් මේ ඌර්නත්තම ශබ්දය බෙහෙවින් පෙනේ. වෙල් යායක් මැද තිබෙන කුඩා ගම,ගමක තිබෙන ගෙවල් යාය, ගමේ ගෙවල් වලට යට වී තිබෙන බිම් කට්ටිය, යනාදී අර්ථයන්හි එය වැටෙයි. මෙහිලා ගෙවල් වලට යට වූ බිම්හරිය එයින් කියැවෙන්නේ යයි සිතිය හැකිය.
- ගෑනු බින්න ඉඩම් – අපේ රටේ විවාහ ක්‍රමය දිග, බින්න වශයෙන් දෙපරිදි වෙයි. දිග ගිය දුවකුත්, බින්න විවාහයට පත් වූ දුවකුත් ඇති පියකු කාලක්‍රියා කළහොත් ඒ පියාගේ ආස්තිය (වස්තුව) බින්න විවාහයට ගිය දුවට මිස දිග විවාහයට ගිය දුවට අයත් නොවේ. මේ නීතිය අනුව ගෑනුන්ට අයත් වූ ඉඩම් ගෑනු බින්න ඉඩම් නමැයි සලකම්හ. මෙ පිළිබඳ විස්තරය නීති නිඝණ්ඩුවේ 68 වන පිටුවේ සිට පළවී ඇත.
- තරව් කෙත – තරවී නම් හොඳ වී හෝ මා වී ආදී දැඩි විය. ඒ තර වී වපුරන සෙත තරවී කෙත නමැයි සලකම්හ. සොයත්වා ” තරවියෙහි බොල්ලා ” යනු දශ ජාතකයෙහි (51 පිට) පෙනේ.
- තාවළු – කුරුණෑගල පළාතේ ජල බහුල කුඹුරුවලට මේ නාමය යෙදේ. තා (තොය) යන්නෙන් ජලයත් වළු යන්නෙන් ආවාටයත් ගත්විට එයින් දියවළ යන අර්ථය ගෙන දෙයි. ගලවළුව (= බෙල්ලේ වළ) යනාදිය සමගත් සසඳනු.
- තෙය – උයන්තෙය. මහනෙල්තෙය යනාදි තන්හි තෙය ශබ්දය පෙනේ. එයින් විලක් කියැවෙතත් ඒ විල ජලාශයක් ද නැතහොත් කුඹුරක් දැයි සිතා ගන්නට තරම් නිදසුන් තවමත් නොලැබුණේය. තෙය යනු තොය ශබ්දයට සමානය.
- දන්වරුපෙත් – භික්ෂූන්ගේ දානය පිණිස පුජා කළ කුඹුරු දන්වරුපෙත් නම්හ. ” පොළොන්නරු දන්වරු පෙතින් ” යනාදිය නිදසුනකි.
- දරාඬු – මේ කුඹුරු විශේෂය විස්තර කරන්නට පෙරාතුව දරාඩු ශබ්දය යෙදී තිබෙන තැන් කීපයක් දක්වාලීම ආධුනිකයන්ට ප්‍රයෝජනවත් විය හැකිය. 1. සකටධුරෙ. ගැල් දණ්ඩෙහි (ධම්පියාසත්‍යය 175 පිට) 2. කුඹුරුලිය දිලෝ දැලින් වසා කුඹුරු දරාණ්ඩෙහි සිය දහස් ලක්ෂ ගණන් මහ සැළ පිළිවෙළින් තබා (පූජාවලිය රතනසාර සංස්කරණය 533) 3. ලෝක ශාසන නැමැති මහා ශාලික් ක්ෂේත්‍රයෙහි දරහඬ බඳනාන්සේය. (එම 575) 4. දරාඩ කුඹුර බිජු දෙපෑල ද (නිලවල සන්නස) 5. බලවිනිමුත්තෙට්ටුවේ දරාඩින් දෙගොඩ බිම්වාසිය යෙළමුනේ සරිය (මැද්දේගම සන්නස) 6. ඛෙත්තප්ප මාණ ගහණත්වාය. කෙත්වත්හි පමණ ගන්නට දරාඩ දෙකම් ගන්නට යුසේයි (කාම ජාතක ගැටපද) යනු එසේ යෙදී තිබෙන තැන් කීපයෙකි. එයින් ” ගැල්දරාණ්ඩ ” ශබ්දයත්, ශාලි ක්ෂේත්‍රයෙහි දර හඬ බඳනා සේය ” යනුත් දරාඬ ශබ්දයෙහි අර්ථය තේරුම් ගැනීමට ඉතා ප්‍රයෝජනවත්ය. ගැළෙහි ඉදිරි පැත්තත් කුඹුරට පිවිසෙන ප්‍රධාන මාර්ගයන් එයින් කියැවෙන හෙයිනි. කුඹුරෙහි ප්‍රධාන ඉදිරි පැත්තට ස්‍ය වෑකන්ඩියේ ඉස්මත්තට අදත් දරාණ්ඩ යයි කියති. සතර කෝරළෙ පහළ ලියද්ද දරාණ්ඩ ශබ්දයෙන් හඳුන්වති. (ධූරඛණ්ඩ > දරකඩ > දරාඬ) යනු නිෂ්පන්න ක්‍රමයයි.
- දිවෙල් – ජිවිතයත් ජීවිතය ගෙනයෑමට උවමනා දේත් දිවෙල් ශබ්දය කියයි. ආණ්ඩුවේ හෝ විහාර දේවාලයවල කරන්නන්ට පරිත්‍යාග කළ ඉඩ කඩම් මෙහිදී එයින් අදහස් කරනු ලැබේ. (ජීවිත>දිවෙල>දිවෙල් )
- දුක්ගන්නා කුඹුරු – සාමාන්‍යයෙන් රජුට සේවය කිරීම දුක් ගැනීම නමින් හැඳින් වෙතුදු දුක්ගන්නා රාජකාරිය නමින් විශේෂ රාජකාරියකුත් සිංහල රජුන් කල තිබුණේය. ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම එහි යෙදුනාහ. ඒ දුග්ගන්නා රාජකාරිය කළවුන්ට දුන් කුඹුරු දුක්ගන්නා කුඹුරු නමි. ඒවා සම්බන්ධයෙන් යම්කිසි ආරවුලක් ඇති වූ විට එය විනිශ්චය කොට සමථයට පැමිණ වීමේ බලය රජුට මිස අන් මුලාදෑනියෙකුට නොතිබුනේයයි ඩොයිලි මහතා කියයි.
- දුහුරු බීම් – මෙයින් සීසෑම් ආදියෙන් මඩකළ බිම් අදහස් කරන ලදැයි සිතේ. වර්තමාන ව්‍යවහාරයෙහි ගොහොරු බිම් යනුත් මේ අර්ථයෙහිම යෙදේ.
- දෙදුරු – (ථුපවංශය 147) මෙය නුවර පළාතේ ව්‍යවහාරයෙකි. ගහ ලගස්, මීමන ආදියෙන් ගැවසීගත් නිතර දිය සීරාව ඇති පහත් බිම් දෙදුරු නම්හ. දැදුරු ඔය යන තැන තිබෙන දැදුරු යනුත් සලකා බැලියැ යුතුය.
- දෙනි– කඳු දෙකක් අතර පිහිටි දිගටියට හුරු කුඹුරු විශේෂයට අපි දෙනි නාමය දෙන්නෙමු. සාමාන්‍යයෙන් දෙනියක් දොනියක (ඔරුවක) හැඩය ගන්නා හෙයින් ඒ නාමය සාර්ථක වෙයි.
- දෙමළ කැබෙළී – මධ්‍ය කාලීන බොහෝ රජදරුවන් විසින් දෙමළ සොල්දාදුවෝ මෙහි කැඳවන ලදහ. ඔවුන්ට දුන් ඉඩම් කැබළි දෙමළ කැබෙළි නම් වේ.
- දෙහෙලාන් – විහාරස්ථාන වලට කුසල් පිණිස දුන් ඉඩම් කුසලාන් වූවාක් මෙන්ම දෙවියන් නමට දේවාලය වලට දුන් ඉඩම් දෙහෙලාන් නම් විය. කුසලාන් ශබ්දය බලාගෙන නිපදවාගත් ශබ්දයක් සේ සැලැකිය හැකිය. අසූ ශබ්දය බලාගෙන අනු ශබ්දය නිපදවා ගත්තාක් මෙනි. දෝපත යනුත් දෙනියටම කියන නමකැයි අසනු ලැබේ.
- නිලපාලු – නිලය නැතිව යෑමෙන් පාලුවන ඉඩම් නිලපාලු නම්. යමෙකුට සැලැකිය යුතු නිලයක් පවරන විට නිලයේ ගරුත්වයත් ජීවිතයත් රැකගනු පිණිස ඉඩම් දෙනුත් සිංහල රජුන්ගේ සිරිත විය. නිලය නැතිවන්නා හාම ඉඩමුත් නැතිව යෙයි. නිලධාරීයාගේ මරණය ස්වාභාවිකව සිදුවුවොත් ඔහුගේ පවුල ගැන විශේෂ සැලකිලි දක්වනු ලැබේ. ඉදින් නිලධාරියා වරදක් නිසා රාජ දණ්ඩනයට යටත්ව මළේ නම් ඔහු සතු ඉඩ කඩම් ආණ්ඩුවට ගැනීමේදී ඔහුගේ ගෑනු දරුවන් (විශේෂයෙන් අවිවාහක අය) වෙනුවෙන් කොටසක් හරිනු සිරිති.
- නින්ද ඉඩම් – අන්‍යයෙකුට අයිතිවාසිකමක් නැති තනි උරුමයෙන් යුත් ඉඩම් නින්ද ඉඩමි නමුත් ඒවායේ අයිතිකාරයෝ ” නින්දකන් ” නමුත් වෙති. “ඔරුවනුක්කෙඋරි මෛයාන ඉඩම් ” (එක්කෙනෙකුටම උරුම ඉඩම) යි මදුරාසි විශ්ව විද්‍යාලයෙන් නිකුත් කළ දෙමළ කෝෂයෙහි කීයේ එහෙයිනි. රාජකීය නින්ද ඉඩම් වලට ගබඩාගම් යනුත් නමි. නින්ද වශයෙන් ලැබෙන ගම් පංගුව ” නින්ද පංගු ” නමින් ප්‍රසිද්ධය. “නින්ද ” ශබ්දය “නිජ ” යන්නෙහිම දෙමළයට හුරු උච්චාරණය වේ.
- පමුණු – යම්කිසි ක්‍රියාවකින් සතුටු වූ රජකු හෝ වෙන අධිපතියකු විසින් ලබන්නාගේ පරම්පරාව විසිනුත් භුක්ති විඳිනා හැටියට බලය ලා දෙන ඉඩම් පමුණු නම්, ඒවා රජතුමාටත් තිබුනේය. (පවෙණි>පවුණු පමුණු)
- පැස්සේ කුඹුරු – සාරත්වය අනුව කුඹුර තෙකොටසකට බෙදූ විට එයින් අධම කොටස පැස්සේ තරම වේ. ඒ පැස්සේ තරමට අයත් කුඹුරු පැස්සේ කුඹුරු නම්හ.
- පිදුම් – පුදන ලද ඉඩම් යනු මෙහි අර්ථයයි. පිදීම දේවාලයකට හෝ විහාරයකට වියැ හැකිය.
- පිසඹුරු කුඹුරු – පිසඹුරු ශබ්දය සෙවෙල් විශේෂයක් කියයි. (බුත්සරණ 265), පූජාවලිය 434, සිඛ වළඳ විනිස 45. 46 – යෝගාර්ණවය 163) යන තැන් බලනු. එහෙත් කර්ම විභාගය නැමැති පැරැණි සිංහල පොතක එන පාඨයක් පිසඹුරු තේරුම් ගැනීමෙහිලා අතිශයින් ප්‍රයෝජනවත් වන්නේය. එනම් :- “දියෙහි හිඳුනා සෙවෙල් සේ වෙරලොමුදු හටගනී. පිඹුරු සේ හිස කෙහෙදු හට ගනී, යනුයි. මෙයින් පෙනෙනුයේ ” පිඹුරු ” යනු සෙවෙල්ම නොව එවැනි හීන් පැලෑටි විශේෂයක් බවය. සමහරු කුඹුරු තෘණාදියෙන් විරහිතව මේ කුඩා පැලෑටි වලින් ගැවසී ගෙන තිබෙනු නොයෙක්විට දක්නා ලැබේ. කුඩුමැටියා පවුලට අයත් මේ කුඩා පැලෑටි විශේෂයෙන් යුත් අසාර කුඹුරු පිසඹුරු කුඹුරු නමින් සලකම්හ.
- පිළැස්ස – පැලැස්ස යන්නට ලියූ විස්තරය බලනු. පිලැසි යනු ප්‍රකෘතිය වේ. සී සෑ කුඹුරක නොසෑ වී ඉතිරි වූ හරියට පිලැස්ස යයි කොත්මලේ කියත් ලු. වගා කළ කුඹුරු කට්ටියක තැනින් තැන තිබෙන වගා නොකළ කුඩා ඉඩම් කැබැලි පිලැසි වන්නට පුළුවන. කැලෑවක ගස්වැල් නැති කුඩා පැලෑටි ඇති හරියත් පැලැස්සකි.
- පුරඳ කුඹුරු – කොතෙක් කලෙකත් අස්තොවත් පුරඳව තිබෙන දෙණි කඩක් කියන්නවුන් මෙන් ” යනු සද්ධර්ම රත්නාවලී පාථයි (ජයතිලක 113 පිට) වතුර නැතිවීම් ආදිය නිසා වගා නොකළ හැකි පුරත්ව තිබෙන කුඹුරු මෙනමින් හඳුන්වනු ලැබේ. පුරන් යනු මේ පුරඳ ශබ්දය ප්‍රභවකොට ඇත්තේය.
- පෙරමාස් කුඹුරු – මාස් මෝසම් වනාහි මහමාහ, පෙරමාහ, මාස්පස්ස යයි තෙපරිදි කොට සමහරු දනිති. සාමාන්‍යයෙන් මහමාහ වපුරන ලද්දේ වප් මාසයෙහිය. පෙරමාස එයට දින කීපයකට ප්‍රථමයෙන් වපුරන ලදී. මෙසේ යම් යම් හේතූන් නිසා මහමාහ වැපිරීමට ටික දිනකට ප්‍රථමයෙන් වැපිරූ කුඹුරු පෙර මාස් කුඹුරු නමින් ව්‍යවහාර විය. මේ කුඹුරු වර්ගය රයිගම් කෝරළයේ අදත් තිබේ.
- බඩ වැඩිලි – පහත් සේවකයන්ට දෙන දිවෙල් මේ නමින් අදහස් කරනු ලැබේ. ආහාරය සපයා ගැනීම පිණිස දෙන මුදල් ආදිය මෙන්ම ඉඩමුත් මේ නමින් හඳුන්වන ලද්දේ බඩ පවත්වා ගැනීමට ඒවා උපකාර වන හෙයිනි. (වට්ටන > වැටිනි> වැඩිලි)
- බත්ගම් – බත් පිණිස දුන් ගම් බත්ගම් නමි. ගොඩ මඩ ඉඩම් කොයිවත් මේ ගණයට අයත් විය හැකිය. මේද යම්කිසි සේවයක් සඳහා දෙනු ලබන දිවෙලටම නමෙකි.
- බදු කුඹුරු – මෙහි බදු ශබ්දය බඩ ශබ්දයෙන් ආයේය. අයිතිකරුට බදු ගෙවා වගා කර ගත් කුඹුරු බදු කුඹුරු නමි.
- බිසෝ පත්තු – “එකලට එම මහ රජහට අග මෙහෙසුන් තැන්පත් ගිරි වසා සුනෙත්‍රා මහා දෙවි යන රජමහිෂිකාවන්ට බිසෝපත්තුවට තුබු මායා රජයෙන් ඒ අවධියේ පද්දාවෙල නම් වූ දැත් මේ අලුත් නුවර ගමත් ” යනු පැරැණි ලිපියක එන වාක්‍යයකි. (විසුද්ධිමග්ගසන්න 2 වන කාණ්ඩයේ මුල) මෙයින් පෙනෙනුයේ බිසොවට අයත් වත්ත බිසෝ පත්තුව බවය. ගත්කතු උපන්නේත් බිසෝ පත්තුක වේ.
- භොගගම් – කේරල භොග යනාදී තන්හි විශාල රාජ්‍යකුත් භෝග ශබ්දයෙන් කියැවෙන්නේය. එහෙත් මෙහිදී මහා සංඝයා වහන්සේට සිව්පස පරිභොග කරනු පිණිස පරිත්‍යාග කළ ගොඩ මඩ ඉඩම්වලට භොගගම් යයි කියත්.
- මළපාලු – මළභුමි, නිසරු බිම්, මලපලා යනුත් මේවාටම නමි. අයිතිකාරයාගේ මරණයෙන් පාලු වන ඉඩම් යනු අර්ථයි. අයිතිකරුවා මළ පසු ඔහුගේ ඉඩ කඩම් වලට අයිතිවාසිකම් කියන්නට පාරම්පරිකයෙක් නැත්නම් ඒවා රාජසන්තක වනු නීතිය වෙයි. සිංහල ආණ්ඩුව විසින් විහාරස්ථාන වලට පුජා කළ ඉඩම් අතුරෙන් බොහොමයක්ම මේ මළපාලු බැව් පෙනේ. පුරප්පාඩු ඉඩම් යනුත් මේවා මැයි.
- මැද්දේ කුඹුරු – ඉහතකී පරිදි සාරත්වය අනුව වෙල්යායක් තුනට බෙදූ විට සාරයෙන් මධ්‍යයම ප්‍රමාණයට ගැණෙන කොටස මැද්දේ තරම නමුත් එහි වූ කුඹුරු මැද්දේ කුඹුරු නමුත් වෙති. උතු, මැදි, පැසි යන තෙශබ්දය සප්තම් විබත් ගත්විට උතුයේ. මැදියේ, පැසියේ යි සිටී. පසුව මධ්‍ය ස්වර ලොප් කොට පෙර රූ කළ කල්හි උත්තේ, මැද්දේ. පැස්සේ. යි සිටියි.
- මුගයින්ු – නාකොලගාන ලිපියෙහි (බැල් මහතාගේ කෑගලු වාර්තාව බලනු) “නාගලට වටනා පසයට පිදු මුගයිනයි” යනාදිය පෙනෙන හෙයින් මෙනමිනුත් කුඹුරු විශේෂයක් තිබුණ බව පැහැදිලි වන්නේය. සමහර කුඹුරු වල හීනැටි මිසැ මුං ඇට නොවපුරණ සේ නීති පණවා තිබුන බව ඉසුරුමුනි සන්නසින් දැක්ක හැකිය. අනුරාධපුරය සමීපයෙහි මුග්ගායතන නමින් ප්‍රදේශයක් පැවැති බව රසවාහිනියෙන් පෙනේ. මුගයින යන සිංහල වචනය එසේ පාලි කළා විනා සිංහල වචනය පාලියෙන් ආවා නොවේ. දෙවන සේන රජු ප්‍රමුඛ කීප දෙනෙකුටම මුගයින් යනුව උපාධියක් වශයෙන් ලැබුනේ එහි උපන් හෙයින් හෝ අනෙක් සැලැකියැ යුතු වැදගත් කාරණයක් නිසා විය හැකිය. මුගයින යනු අමුයන යනුවත් සමග සසඳනු.
- මුත්තැස් කුඹුරු – ( ගොයම් කපාගත් කුඹුරු) මේ මුත්තැස් ශබ්දය වටරක්ගොඩ, කෙවුල්ගම යන ලිපිවල “මුත්හස” යි පෙනේ. එය “මුදුහස” යන්නෙන් ආ හැකි බවත් රාජකීය අත්සන පිහිට වූ ලිපිය (සන්නස) එයින් කියවෙන බැවින් සන්නස් පිට ප්‍රදානය කළ ඉඩම් මුත්තැස් ඉඩම් බවත් සමහරු කියති. එහෙත් මුත්තැස් ගොවිතැන නමින් දත්තා ගොවිතැනක් කුරුණෑගල පළාතේ අදත් තිබෙන හෙයින් ද මහ මුත්තැස්, සුදුමුත්තාස්, මුත්තැස්, මුත්තැස් මෑ යන ධාන්‍ය වර්ගයන් හා මෑ වර්ගයන් ඇති හෙයින්ද ඒ කීම කෙරෙහි විශ්වාසය නොතැබිය හැකිය. “ඡදනාග්‍රය” කියන මුත්තැස් ශබ්දයක් සද්ධර්මරතනාවලියෙහි එයි. කෙවුල්ගම ලිපියේ පෙනෙන “මෙව නුමුත් හසේ පටත්” යන වාක්‍ය ඛණ්ඩයෙන් කියැවෙන්නේ මේ පරිත්‍යාගය බලපවත්වන කාල පරිච්ඡෙදය වේ. ගොයම් කපාගෙන ඉවර වූ කුඹුරු මුත්තැස් කුඹුරු බවට මේ වාක්‍ය නිදසුන් කරන්නට පුළුවන. එය එසේම නම් “මුතුසස්” (ශෂ්‍යයෙන් මිදුනු) කුඹුරු මුත්තැස් කුඹුරු වී යයි ගණන් ගත හැකිය.
- මුත්තෙට්ටු – ඉඩම් අයිතිකාරයාගේ සේවකයන් විසින් කුලී නොගෙන වගා කරනු ලබන ඉඩම් විශේෂය මුත්තෙට්ටු නමින් හඳුවනු ලැබේ. “පණණෙයාරුක්කුප් පණ්ණෙයාට්හල් කුලියින්රිප් පයිරිඬුම්නිලම්” යි එහෙයින් කියන ලදී. ගබඩා මුත්තෙට්ටු, දේවාලය මුත්තෙට්ටු, දලදා මුත්තෙට්ටු, අඳ මුත්තෙට්ටු, විදාන මුත්තෙට්ටු, නින්ද මුත්තෙට්ටු, සාරමාරු නින්ද මුත්තෙට්ටු යි මුත්තෙට්ටු බොහෝ ගණනක් තිබුණ බැව් පෙනේ. රාජකීය මුත්තෙට්ටු ගබඩා මුත්තෙට්ටු නම් වේ. අනෙක් මුත්තෙට්ටුත් මේ නයින්ම සැලැකිය යුතුයි. ගබඩා මුත්තෙට්ටු වැඩ කරන්නෝ ඒ මුත්තෙට්ටු වලින් ලැබෙන ධාන්‍ය සහල් කොට නියමිත පරිදි මහ ගබඩාවට ගෙන ගොස් දෙති. මුත්තෙට්ටු වැඩ කරන්නන්ට ඒ සඳහා වෙනම ඉඩ කඩම් ලැබුණ හෙයින් මුත්තෙට්ටුවෙන් ලැබෙන ධාන්‍ය ඔවුන්ට අයත් නොවේ. සමහර සාරමාරු මුත්තෙට්ටු අස්වැද්දීමේදී සිමෝසමක අස්වනු රාජකීය ගබඩාවටත් එතැන් සිට දිශා වලව්වටත් දෙන සේ නීති පණවා තිබුන බවත් පෙනේ. “දේවාලවල සිදුකළ අලුත් සහල් මංගල්‍යයේදී දේවාලය මුත්තෙට්ටුවෙන් කරල් කපා ඇතු පිටින් ගෙන එනුත් සිරිති. සියලු අස්වැන්න ඉඩම් හිමියාට දෙන කුඹුරු නින්ද මුත්තෙට්ටු නමුත් අස්වනු වලින් අර්ධයක් දෙන මුත්තෙට්ටු අඳ මුත්තෙට්ටු නමුත් මුත්තෙට්ටුව ආරක්ෂා කරන්නා වෙනුවෙන් වෙන් කළ ඉඩම් කොටස විදානෙ මුත්තෙට්ටු නමුත් වන්නාහ.
- මුලන් – හේනක් ගිනි තැබූ පසු උගුලා දමනු ලබන මුල්වලට මුලන් යයි සිව් කෝරළ වාසීහු කියති. මාතර පළාතේ එනමින් හැඳින්වෙන කුඹුරු විශේෂයකුත් වෙයි. ඒවාට ඒ නම යෙදුනේ කුඹුරු යායේ ගොඩට කාවැදී ගිය මුල්ලක තිබෙන නිසා විය හැකිය.
- මුල් බිජු කුඹුරු – පසුව විටින් විට අවටින් ඈඳා ගත් කැබෙලි හැර මුල් ලියවිල්ලේ සතර මායිමට ඇතුළත් – මුල් ලියවිල්ලේ සඳහන් බීජ ප්‍රමාණය වැපිරෙන කුඹුරු මෙයින් අදහස් කළා විය හැකිය. මුල් බිජු නම් කුඹුර අයිතිකාරයාට ලැබෙන කාලයෙහි එහි වැපිරිය හැකිව තිබුන බීජ ප්‍රමාණය වේ.
- රත්මාසර කුඹුරු – විශේෂයෙන් ගං හෝ දෑලවරේ දක්නා ලැබෙන, තෘණාදියෙන් ගැවසී ගත්, පාලුවට හැර තිබෙන කුඹුරු මේ නමින් අදහස් කරනු ලැබේ. ගාලු පළාතේ රත් නැහැර නාමයෙන් හැඳින්වෙන්නේත් මේ ඉඩම් විශේෂය මැයි. වගා නොකළ රජය සතු ගොඩ ඉඩමුත් මේ නාමය ලබයි.
- වරුපෙත් – මෙහි වරු ශබ්දය ධාන්‍යයත් පෙත් ශබ්දය ඉඩමත් කියයි. එහෙයින් ධාන්‍ය වපුරන කුඹුරු වරුපෙත් ශබ්දයෙන් වාච්‍යවන වන බැව් සැළැකිය යුතුයි. ධාන්‍ය වපුරන ඉඩම් කොටස යනු අර්ථයි.
- වැහැර – මේද දඹුලු සිත ආදී පැරැණි ලියවිලි වල දක්නා ලැබෙන වචනයකි. විහාරයට අයත් ඉඩම් යනු අර්ථය සේ පෙනේ. බැහැර යනුත් වැහැර කියා සිටිය හැකිය. එසේ නම් මුල් ඉඩමට අයත්ව බැහැරින් තිබෙන ඉඩම් වැහැරැ ඉඩම් වන්නට පුළුවන.
- වැවගම් – වැවක ආශ්‍රයෙන් වගා කරනු ලබන කුඹුරු මේ නමින් ව්‍යවහාරයට ගියේ යයි සලකනු ලැබේ.
- සාරමාරු ඉඩම් – මේත් අවිනිශ්චිත ඉඩම් විශේෂයක් හෙයින් ශබ්දය යෙදී තිබෙන තැන් කීපයක් පළමු වලා දැක්වීම යෙහෙකැයි සිතේ.
- රණබාහුගම මත්තට සාර මාරුවක් රාජකාරියක් නැතිව නිරවුල් ලෙස ප්‍රයෝජනයට ගැනීමට………පූජා කර වදාළෝය. (ස. පැරණි ලිපි 84 පිට)
- එහි බද ගෙවතු ගහ කොළ ගොඩ මඩ ඇතුළුව සාරමාරු නැතිව ප්‍රවේණි සැලැස්මට මේ සන්හස දෙවා වදාල පණතත් (එම 113 පිට)
- මෙකුන්ගේ දරු මුනුබුරු වර්ග පරම්පරාවට නිරවුල්ව ආරාමාරු නැතිව ප්‍රවේණි සැලැස්ම බුත්ති විඳිනා රඟ……….(ඌවේ පැරැණි ලිපි 150)
- ………………. මඩිගක්කාරයෝ ද තරමාරු නැතිව මින්මතු මෙම විදානේ කීකල වැඩ රාජකාරිය හොඳින් මට්ටු පතු ඇතිව කර කියා ඔප්පු දෙනවාය.
- සාරාමාරුවේ සම්බාපණිවිඩේ.
- සාරාමාරුවේ කටුපුල්ලේ
- සාරාමාරුවට ඇරුනු අය හැර යනාදිය නුවණින් විමසන විට අස්ථිර තාවකාලික යන අර්ථය දෙනු සඳහා සාරමාරු, තාරමාරු, ආරමාරු ශබ්දයන් භාවිත කළ බැව් පෙනේ සාරමාරු වල තිබුණ ගබඩා මුත්තෙට්ටු ඉඩම් වගා කොට ධාන්‍යයෙන් කොටසක් මහා ගබඩාවටත්. කොටසක් දිශා වලව්වටත් දෙනු සිරිත විය. සාරමාරු ඉඩම් වල විසූ සමහරු බද්ද වෙනුවට පැණි හකුරු සැපයීමද සමහරු දිශා වලව්වෙහි මෙහෙකිරීමද සමහරු දිශාවගේ දෝළාව ගෙන යෑමද සමහරු සිද්ද වෙනුවට පැණි හකුරු සැපයීමද සමහරු දිශා වලව්වෙහි මෙහෙ කිරීමද සමහරු දිශාව දෝළාව ගෙන යැමද සමහරු මුලුතැනට උවමනා දේ සැපවීමද සමහරු විශ්‍රාම ශාලාවන් (ඉඩම්)ලදී ඒවා ඉවීමද කළහ. මෙසේ හෙයින් සාරමාරු ඉඩමුත් එහි වැසියනුත් සම්බන්ධයෙන් දිශාවේ විසින් පැවැත්වූ බලය ඉතා විශාල බැව් පෙනේ. බොහෝ දිශාවේවරුන්ට සාරමාරුද නින්ද විදාන නම් තනතුරකුත් තිබුනේය. සාරමාරු නින්දගම් වල විධායකයා යනු එහි අර්ථය වේ. සාරමාරු නින්ද ගම් වැසියන්ගෙන් නියමිත පමණට වඩා වැඩ ගත්තොත් ඒ වෙනුවට දිශාවේ විසින් ඔවුන්ට නියමිත ප්‍රමාණ වේතනයක් ගෙවිය යුතුය. සිරි විකුම් රජ සිත සමයෙහි ගංගොඩ මාලියද්ද, කලවෙල, දිඹුල්ගමුව, මැටියගතො, ගෙවිලිපිටිය, බටුවත්ත, විලංග මුල්ල, ඇදුරා පොත යන මේවා සාරමාරු ඉඩම හැටියට සලකන ලදී. ගමක් හෝ ගම් කැබෙල්ලක් ලබා ගැනීම පිණිස ඉඩම් හිමියාට දෙන දීමනාවටත් සාරමාරු දීම යයි උඩරට වැසියෝ කියති.
- සම්භොග ගම් – විහාරස්ථානවලට පරිත්‍යාග කළ භොග ගම් වලට මේද නමකි. ධම්පියා අටුවා ගැටපදයේ දිවෙල් යයි කියන ලදී.
- සංගත්තාර් – මේ ඉඩම් වර්ගය යාපනය ආදී ද්‍රවිඩ ජනයා වසන ගම් වල තිබේ. පුරාණයේදී සංඝයාට දුන් ඉඩම් අද දක්වාත් එනමින් ව්‍යවහාර වන බවට මේවා නිදසුන් කළ හැකිය. මෙවැනි කුඹුරු සමූහයක් එක්වු විට එය යාය නමින් හැඳින්වේ. “යාය” යනු සමූහ වාචක “ජාත” ශබ්දයෙන් ආවා වන්නට පුළුවන. දෙණියට එරුම කියාත් දෙණිකඩට එරුම් කඩ කියාත් ඇලබඩ කුඹුරු වලට “ඔහෝ” කියාත් පළාත් අනුව ව්‍යවහාර කෙරෙති. දාහිමිය ( පිය පරපුරෙන් ලැබෙන ඉඩම්) වදාහිමිය ( මව් පරපුරෙන් ලැබෙන ඉඩම්) ලහිමිය (තමාම සපයාගනු ලැබූ ඉඩම්) පතන් (තණ වලින් ගැවැසී ගත් තැනිතලා ඉඩම්) ලඳු (කුඩා පැලෑටින්ගෙන් ගැවසීගත් හේන් වැනි – කඳු බෑවුම්වල තිබෙන ඉඩම්) රාජකාරි ඉඩම් (රාජකාරිය වෙනුවෙන් දුන් ඉඩම්) යනාදී විසින් තවත් නොයෙක් විධියේ ඉඩම් තිබුනේය. එහෙත් ඒවා පිළිබඳ විස්තරයක් ලියන්නට අපි කල්පනා නොකරමු. ඉන්දියාවේ අර්ධමාන්‍ය නමින් හැඳින්වනු ඉඩම් විශේෂයකුත් තිබුණේය. ඒ නම යෙදුනේ නියමිත ඉඩම් බද්දෙන් භාගයක් අය කළ හෙයින්ය. ලංකාවෙහිත් මෙවැනි ඉඩම් තිබුන නමුත් ඒවා ඒ නමින් හැඳින් වූ බවට නිදසුන් නැත්තේය. තවත් ගොඩ මඩ ඉඩම් සමහරක් දිය හුන්නත නමිනුත් හඳුන්වනු ලැබේ. ඔකොඳ පොල විහාරයෙහි වැඩ වෙසෙමින් බාලාවතාර ලියන සන්නස සකස්කළ ධර්මජෝති තෙරණුවෝත් දිය හුන්නත නම් ගමෙක උපන්හ. වැවකට උඩින් – වැවට වතුර ගලා එන ඔයක් හෝ ඇළක් සමීපයෙහි තිබෙන ඉඩම් වලට වැඩි වශයෙන් මේ නම යෙදුනු සේ පෙනේ. දිය පතිතවන පැත්තේ පිහිටි ඉඩම යනු අර්ථයි. (දියහුනු+අත – දියහුන්නත)ඉහත දැක් වූ නාමයන් අතුරෙන් සමහර ඒවා ගොඩමඩ ඉඩම් කොයිවත් කියන නමුත් වැඩියක් නාමයෝ කුඹුරු පමණක්ය කියති. වෙල, වියල, කෙත, දඩ යනාදී තවත් කුඹුරු වාචක නාමයෝ වෙති. එයින් දඩ යනු වනය, ගම, ගම් කොටස, කර්මාන්ත භූමිය, යන අර්ථයන්හි වැටේ. පැරැණියන් පණිවිඩ පණත් වලට කකුල් දඩ කියාත් ගෘහ කර්මාන්තයනට ගෙයි දඩ කියාත් කියන ලද්දේ කර්මාන්තාර්ථය මුල්කරගෙන විය යුතුය. මෙසේ මෙකී නාමයන්ගෙන් හැඳින් වූ කුඹුරු තවත් අනු කොටස් සමූහයකට බෙදී ගියේය. මෙතැන් සිට ඒවා පිළිබඳ කෙටි විස්තරයක් පළ වෙයි.
උපුටා ගැනීම - "පණ්ඩිත මැදඋයන්ගොඩ විමලකීර්ති හිමි"
